Tuesday, January 17, 2012

අන්දරේ මගුලක් කතා කරයි


අන්දරේ රාජ සභාවේ කටයුතු කිරීම හේතුවෙන් ගමේ ගෞරවයට පාත්‍රව සිටියා. මේ හේතුවෙන් මගුලකදීත් මල ගෙයකදීත් ඔහු නැතිවම බැරි චරිතයක් බවට පත්වුනා. කට හොද නැතත් අන්දරේට තිබුන පිලිගැනීම හේතුවෙන්ම ඒ ඒ අවස්ථාවල් වල කතා පැවැත්වීමටද ආරාධනා නොලැබුනා නෙමෙයි. නමුත් එක් මගුල් තුලාවක කතාවක් පැවැත්වීමට ගොස් ගෙහිමියන්ට අපූරු පාඩමක් ඉගැන්වූ අවස්ථාවක්ද පවතිනවා.
අන්දරේගෙ නැන්දගෙ පුතගෙ මගුල් ගෙදරත් ප්‍රධාන කථාවක් අන්දරේට පැවරුනා. නමුත් අන්දරේ පිලිබද විශ්වාස නැති නිසා නැන්දා කථාවට පෙර උපදෙස් මාලාවක් අන්දරේට ලබාදෙන්න කටයුතු කලා.
‘‘ නුඹ කතා කරන විට තත්වයක් ඇතිව කතා කරන්න ඕන ‘‘
මාමාත් ඊට අලගු තිබ්බ. ‘‘ ගැඹුරු වචන පාවිච්චි කරන්න ඕනේ ‘‘
නැන්ද ආයෙත් හොට දාල කිව්වෙ ‘‘ පණ්ඩිත බව පෙනෙන්නත් එක්ක කතාකරන්න ‘‘
ඕනම දෙයක් ඕනවට වඩා ඕන නැහැ කියනවනෙ. ඉතින් අන්දරේටත් මේ කතා මහා හිසරදයක් උනා. මංගල උත්සවය ආරම්භ වුනා. මනාල යුවල පොරුව මත හිදුවා කරනු ලබන චාරිත්‍ර වාරිත්‍රත් අවසන් කලා. අනතුරුව මංගල සභාවෙ කතා වාරයත් එලඹුනා. දෙදෙනෙක් කතා කරල නිම වුන පසු පැමිණියේ අන්දරේගෙ අවස්ථාව.
‘‘ මංගල සභාවෙන් අවසරයි. මහා මේරු පර්වතය , සප්ත මහා සාගරය , පඤ්ච මහාදීපය , කෛලාශ කූඨය , මේඝ ගර්ජනාව , සමුද්‍ර ඝෝෂාව ..... වැනි බර වචන යොදමින් අන්දරේ කථාව කරගෙන ගියා. මේ කතාව තේරුමක් නැති වුනා වගෙම කියන්නෙ මොනවද කියල අන්දරේවත් දැනං හිටියද කියල ප්‍රශනයක් ආව. කතාව අහගෙන හිටපු අය පුදුමවුනා විතරක් නෙමෙයි සිනාසුනා.
බැරිමතැන නැන්ද මැද්දට ඇවිත් අන්දරේගෙන් ඇහිව ‘‘ මොනවද ඔය කිවන්නෙ ‘‘ කියල.
‘‘ මම හොදට කතාකරන්නයි සූදානම් වුනේ. එතකොට නැන්දයි මාමයි තමයි ඇවිත් බර වචන පාවිච්චි කරන්න කිව්වෙ. ඉතින් නැන්දයි මාමයි කියපු විදිහටනෙ මම මේ කලේ ‘‘ අන්දරේ එහෙම කිව්වහමයි හැමෝටම සිද්ධිය තේරුම් ගියෙ. මාළුව නහින්නෙත් කට හින්ද කියන කියන්නෙ ඕකට තමයි කියලයි මගුලට ආපු අය යනකොට කිය කිය ගියෙ. කොහොමහරි අන්තිමට ඒකෙන් පස්සෙ කව්රුත් අන්දරේට මගුල් තුලාවල කතා පවත්වන්නනම් ආරාධනා කලේ නෑ.

0 comments:

Post a Comment

Share

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites