අන්දරේ කටකාරය බව අමුතුවෙන් කියන්න ඕන නැහැනෙ. හැබැයි අන්දරේ තමන්ගෙ ගෞරවය ගැන මනාවට හිතපු කෙනෙක්. රජ්ජුරුවන්ට උසුළු විසුළු කිරීමට ඔහු කටයුතු කලාට ඔහුට විහිළුවක් කරන්න කාටවත් බැරිවුනා. ඒ අන්දරේ පරද්දන්න කාටවත්ම බැරි වුන හින්ද. විහිළු වගේම අන්දරේ වස් වදින්න ගණ පිහිටුවා කවි කියන්නත් දක්ෂයි කියල දන්නවනෙ.
ඉතින් මේ විදිහට තමන්ගෙ දක්ෂතාවයන් පෙන්වමින් ඉන්නකොට දවසක් අන්දරේට නඩුවක සාක්ෂියකට කැදවීමක් ලැබුන. අද වගෙම ඒ කාලෙත් අධිකරණය තිබුනෙ කොටස් කිහිපයකින් සමන්විත වෙලායි. බරපතල නඩු රජ්ජුරුවන් අහනකොට මහා අධිකාරම්වරු , නිලමේවරු හා ගම්මුලාදෑනීන් සුළු නඩු විසදන්න කටයුතු කලා. අන්දරේටත් කැදවීම ලැබුනෙ නිලමේවරයෙක් අසන ලද සුළු නඩුවක් සදහායි. අන්දරේ මෙයට සහභාගීවුනේ කැමැත්තකින් නොවෙයි. නොගිහින් බැරි නිසයි.
‘‘ සියල්ලොම නිෂ්ශබ්දවෙනු ‘‘ අධිකරණයෙ වැඩ ආරම්භ කලා. නමුත් නිශ්ශබ්දතාව කඩකරමින් අන්දරේට කැස්ස.
නිලමෙ නැවත වරක් ‘‘ සියල්ලොම නිෂ්ශබ්දවෙනු ‘‘ කියල කිව්වෙ අන්දරේගෙ කැස්ස කරදරයක් වුන නිසයි.
නමුත් අන්දරේ අත ඇරියෙ නෑ. දිගටම කැස්ස. මහ හයියෙන් කැස්ස. කහින ගමන් කෙදිරි ගෑව. වැඩේ කරගෙන යන්නම දුන්නෙ නෑ.
‘‘ යුෂ්මතාට සිංහල තේරෙන්නෙ නැද්ද ? ‘‘ නඩුකාර උන්නාන්සෙට කේන්ති ගිහින්. අන්දරේ ඇහුනෙ නෑ වගෙ ඉන්නව.
නැවත රාජකාරි ආරම්භකලා. පුදනකොටම කාපි යකා කියල අන්දරේ පෙරටත් වඩා හයියෙන් කහිනව.
මේකට මළ පැනල නඩුකාර උන්නාන්සෙ ‘‘ නිශ්ශබ්දතාව කඩකිරීමේ වරදට යුෂ්මතාට පතාග දහයක් දඩ ‘‘ යැයි නියමකරනව.
ඔන්න එතකොට අන්දරේට මළ පනිනව. ‘‘ ස්වාමිණි මම සාක්ෂි දීල ඉවරවෙනකම් මේ කැස්ස නතර කරල දෙන්න පුළුවන්ද ? ‘‘ නක්කලෙටයි අහන්නෙ. ‘‘ ඒක කරල දුන්නොත් මම ඔබ වහන්සෙට පතාග දහයට සීයක්ම ගෙවන්නම් ‘‘
නඩුකාර උන්නාන්සෙට තරු පේනව..
ඔන්න එතකො ඇවිත් ඉන්න ඔක්කොම හිනා වෙනව. තමන්ට දෙන්න උත්තරයක් නැති තැන නඩුකාර උන්නාන්සෙ දඩය අකුල ගන්නව.